Saturday, October 20, 2012

ෆැන්ටසි අවකාශයේ අපි


අප දකිනා ලොව සැබෑ ලෝකයයි
සිතමින් සැම දින දිවි ගෙවුවත්
සුවිසල් ෆැන්ටසි අවකාශයක
සිර වී ඇත අපි සදා කාලයටම

සුරඟනන් සදිසි සොඳුරු යුවතියන්
සොයා ඇවිද යන මිනිසුන් හා
රෝමියෝ සදිසි කුමරුන් සොයනා
යුවතියන් මෙලොව පිය මැන්නත්
ලුහුබැඳ යන්නේ මිරිඟුවකැයි
නොදැන කල් ගෙවති ඔවුහු ෆැන්ටසියක


මරණය වෙත අපි පිය මනිනා බව
යටි සිත කෙතරම් හඬ නැගුවත්
අනිත්‍ය ලොව තුළ තමා නිත්‍ය යයි
සිතනා මිනිසුන් හිඟ නොවුනත්
ඒ සියලු පැතුම් දිය මතුපිට ඇඳි
රේඛාවන් සේ මැකී යයි මොහොතක

දීර්ඝ නිවඩුවක අවසානය

නිවසට වී දැන් තෙමසක් ගත ව ඇත
ඇක ගැන මෙලෝ හසරක් දැන් මතක නැත
campus එක තිබෙන තැනවත් මතක නැත
එනමුදු හෙට දිනයේ uni යා යුතුව ඇත

මෑතදී පා නොතබුවත් අප බෝඩිමට
බෝඩිමේ aunty ට අප අමතකව නැත
Boarding fees ඉල්ලා එන call එක
හැම මසකම නොවරදවා ලැබෙනු ඇත

සාහිත්‍යයට ලැදි වී ඇත මගේ සිත
subject පොතක් දුටු කලෙකුත් මතක නැත
ව්‍යාවර්තයද අලෙවි කළ යුතුව ඇත
ඇක ගැන සිහින කිසිවක් දැන් මට නොමැත

කවි නවකතා වෙත යොමු වූ මා සිතට
ඇක දමන්ට mood එකක් තවම නැත
ඇක loss වේ ද කියලා මට බියක් ඇත
යන්තම් හෝ ඇක ගොඩ දා යුතුව ඇත

ප.ලි. - මෙම පද්‍යය  හාස්‍යය දැන්වීම  සඳහා පමණක් ලියවුනු නිර්මාණයක් වන බවත්, මෙහි අවසන් කොටසෙහි ඇති සමහර කරුණු සුළු වශයෙන් අතිශයෝක්තියට භාජනය වී ඇති බවත් කරුණාවෙන් සලකන්න

Saturday, September 1, 2012

අපගේ ඉරණම


සහසක් සිහින දුටුවත් සිත තුළ මහරු
බොඳ වෙයි ඒ සිහින මෙන් හිරු දුටු අඳුරු
සරසවි පැමිණියත් වනු පිණිස මැවිසුරු
අවසන අත් වුණේ ඉරණමකිය රුදුරු

කෙතරම් වෙහෙසුනත් සරසවි පැමිණි තරු
වැසුණා එ දුල් තරු මේඝයකින් අඳුරු
තුදුස් වසක් වෙහෙසුණු අරමුණ සොඳුරු
සම ධ්‍රැව දෙකක් මෙන් අපගෙන් වේ ය දුරු

ඇරඹෙනු ඇතැයි සරසවි දිනකදි නුදුරු
තවමත් පතති සරසවි සිසුහු නිරතුරු
නොතකා හරින සඳ සිසු පරපුර මහරු
උණු වන්නේ නොමැතිද අපගේ රුහිරු?

පැණසර සිසුන් සැම හට කරනට අකුරු
සියයට  හයක් ඉල්ලයි සරසවි ඇදුරු
බිහිරන් සේ සිටිති රට කරවන නුවරු
නොවටින්නේද අප ලක් දිව හට සොඳුරු?

Saturday, August 4, 2012

බිඳ වැටුණු සිහින

නෙතගින් කඳුළු වැගිරෙයි නොදැනිම සිතට
කඳුළු අතර බොඳ වී යයි දුටු සිහින
සහසක් පැතුම් පොදි බැඳ සිටි ඒ සිතට
සිතුණේ නැත මෙවැනි විපතක් වන බවට

බොඳ වූ සිහින ගැන සිසුවෝ ළතැවෙන්නේ
ඔවුන්ගේ දෙමව්පියෝ නිහඬව වැලපෙන්නේ
ඇමතිතුමා මෙය පිලිබඳ නොතකන්නේ
සිසුන්ගේ කඳුළු ඉදිරියේ නෙත් පියවන්නේ

සිව් වසරක් වෙහෙසුනත් සරසවි යන්න
අවසන සිදු වුණේ නිවසට වී ඉන්න
දුටුවත් සිහින දොස්තර, මැවිසුරු වන්න
නව ප්‍රතිපලය දැක සිතෙනව මිය යන්න

Syllabus දෙකට වෙනමම Z එක සෙව්වා
ඒ දෙක එකතු කර ජ්‍යාමිතියත් යෙදුවා
එයද වෙනස් කර නව ප්‍රතිපල එව්වා
එය දුටු සමහරුන් බීමට වහ සෙව්වා

Private uni ගැනයි ඇමතිද වෙහෙසෙන්නේ
රජයේ සරසවිය බිඳකුදු නොතකන්නේ
නැවතත් උ.පෙළ කරනු යි ඔහු පවසන්නේ
සිසුන් විඳි වේදනා ඔහු නොම දන්නේ

සරසවි සිසුන් මෙරටට වැදගත් නොවෙද?
Old syllabus සිසුන් uni යා යුතු නොවෙද?
බලධාරින්ට, ඇමතිට හදවත් නැතිද?
සහසක් සිසුන් මෙලෙසින් පතනව නොවෙද?

පෙර තිබු z එක මට යළි ලැබුණා නම්
1st shy ගොඩ යන්න luck එක තිබුණා නම්
private uni යන්න මුදලක් තිබුණා නම්
..........................................................

(මෙහි අවසන් පදය ප්‍රකාශ කිරීම නුසුදුසු යයි සිතමි)


Thursday, June 14, 2012

ව්‍යාවර්තය හැඳින්වීම


බල යුග්මයකට හසු වූ අංශුවක් තම ගමන් මාර්ගය වෙනස් කර ගන්නේ යම් සේද, එලෙසින්ම බාහිර බලපෑම් යටතේ මනුෂ්‍යයෝ සිය ජීවන ගමන් මග වෙනස් කර ගනිති. අයෙක් බල තණ්හාවෙන් උමතුව මිරිඟුවක් ලුහු බැඳ යන්නේද, තවත් අයෙක් භෞතික සැප සම්පත් සියල්ල අතහැර ලෝකෝත්තර සුවය සොයා යන්නේද එබැවිනි. නමුත් යම් මොහොතක ඔවුන්ගේ ගමන් මාර්ග ඡේදනය වන්නේ දෛවයේ සරදමකින් මෙනි. එහෙත් එවිට සිදු විය යුතු සියල්ල සිදු වී හමාරය.


තණ්හාවෙන් උමතුව විනාශය කරා යන විශිෂ්ටයකු පිලිබඳ ඛේදජනක නව කතාවක් කියවා ඔබත් වෙනස් ආකාරයක සාහිත්‍යමය නිර්මාණයක් රස විඳින්න


චරිත  විග්‍රහය

බුද්ධික - "මම ප්‍රර්ථනා කරනවා මට ඊළඟ ආත්මයේ මේ වගේ ඉරණමක් අත් නොවේවා කියලා."
සමන්ති - "ඔයා දන්නවා මට දැන් ඔයා හැර වෙනත් කෙනෙක් ගැන හිතන්න බැරි බව."
වික්‍රම - "මගේ නම තත්වය ඛේදජනකයි. දැනටමත් 2ක් වැරදියි."
සරණංකර හිමි - "ඔයා මොහොතකට හරි අනෙක් අයගේ යහපත ගැන හිතුවා නම් ඔයාට මේ වගේ තත්වයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ."
සඳුන් - "මට මේක කියන්න කණගාටුයි. ඒත් ඔයාට මගේ නංගිත් එක්ක තියෙන සම්බන්ධය නවත්වන්න වෙනවා"
කවීෂා - "දුක් වෙන්න එපා නංගි. මම දන්නවා ඔයාට මේක දරා ගන්න බැහැ කියලා. ඒත් අපිට වෙන්න තියෙන දේ වෙනස් කරන්න බැහැ."
චමින්ද - "ඔයාට සෑහෙන හැකියාවක් තියෙනවා. ඔයා කැමති නැද්ද විශ්වයේ සමතුලිතතාවය ගැන ගැඹුරට ඉගෙන ගන්න ?"
අනුෂා - "මම බය වෙලා හිටියේ ඔයා බුද්ධිකට අනතුරක් කරයි කියලා. එයා මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්."
ටාන්යා- "ඔයා සඳුන්ව මැරුවා නම් ඔයාට කවදාවත් මගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ."
මර්වින් - "මට කවදාවත් මගේ අතීතය දිහා බලලා සතුටු වෙන්න බැහැ."
මහේෂ් - "මොන හේතුවක් නිසා කලත් මනුෂ්‍ය ඝාතනය සාධාරණීකරණය කරන්න බැහැ."
ෂ්නයිඩර් - "ඔයාලගෙන් කවුරු හරි මේ ව්‍යාපාරය භාර ගත්තොත් ප්‍රශ්නය විසඳෙනවා."
කාරියවසම් - "ඔයාට හොඳටම විශ්වාසද මේ වගකීම භාර ගන්න පුළුවන් කියලා?"
දුමින්ද - "මොනවා! සර්ගේ තත්වය කණගාටුදායකයි. මම හිතුවේ සර් බොහොම සතුටින් ඉන්නවා කියලා."
පියදත්ත - "ඔයාලට අරවා ඕනෙ නම් මට කියන්න."
ලක්මාල් - "එයාලගේ ආර්ථික අපහසුතා නිසා ලේසියෙන්ම මේ වගේ දේවලට පොළඹවා ගන්න පුළුවන්."

මෙම සියලු චරිත හමු වී ඔවුන්ගේකතාව දැන ගැනීම සඳහා 'ව්‍යවර්තය' කියවන්න. ජුනි 16 වැනි දින සිට කර්තෘ වෙතින් ලබා ගත හැක.

Thursday, June 7, 2012

අසමතුලිත සන්තානයක පාපොච්චාරණය- 2 වන කොටස

සිහිවුවත් සංසිඳුණු මොහොතක
 මා පෙම් කළේ ඔබෙ රුවට බව
නොපිළිගන්නේ ඇයි මගේ සිත
 එදින දුටුවේ සත්‍යයක් බව

 සහස් සිතුවිලි හැඟුම් පිබිදෙන
 මහ සයුර සේ කැළඹී සිතකට
 නොහැකි ඇයි දැන් හැඳින ගන්නට
 මෙතෙක් දුටුවේ මිරිඟුවක් බව

 මට නොලැබි එක් පෙමක මතකය
 සිතින් ගිලිහී යන්නටත් පෙර
 තව මිරිඟුවක් ලුහුබඳින්නට
 පෙළඹුණේ ඇයි නොවැටහේ මට

 වැරදි ප්‍රේමය ලුහු බඳින කල
 ඉතිරි වන්නේ බිඳුණු සිත බව
මගේ යටි සිත පවසනා සඳ
 තවත් මා එය ලුහුබඳිනු කිම

Saturday, April 28, 2012

තරඟය

 සිහිනයක් දුටිමි මා එක් දිනයක
Batch top වන්නට මතු යම් දිනයක
එනමුදු අවසන ලැබුණේ මා හට
බිඳුණු සිතත් වෙහෙසත් පමණක්මද?
මෙතෙක් කල වෙහෙසුනේ අපි මේ වෙනුවෙන්මද?


සරසවි බිම තුළ batch top වන්නට
පන්තිය තුළ පළවෙනියා වන්නට
ජීවන තරඟය තුළ දිව යන්නට
මිරිඟුවකට රැවටී වැලපෙන්නට
අප ජීවිතයේ අරමුණ මෙය පමණක්මද?

ඔබත් මාත් නොනවතින තරඟයක
නොපෙනෙන ඉලක්ක ලුහුබැඳ යන කල
අයෙක් වැටුණු විටදී ඇත දෙන්නට
නොමැතිය කිසිවෙක් සිත උණු වන්නට
මිනිසත් බවේ ගමන මග මෙය විය යුතුමද?

Tuesday, January 31, 2012

කවි සංවාදය


1 වන සිසුවා-
අහෝ ඛේදයකි මා හට සිදු වූයේ
ප්‍රශ්න 2ක් වැරදියි mid paper එකේ
Repeat වෙයිද කියලා මට බියක් දැනේ
මා සිත සනසන්න කිසිවක් කියනු මැනේ

2 වන සිසුවා-
සොහොයුර එපා ඔවැනි වදන් පවසන්න
එපා මගේ මනසට බිය ගෙන දෙන්න
අඩකට වඩා වැරදී loss වී ඉන්න
මට මෙය ඇසෙන විට සිතෙනව මිය යන්න

3 වන සිසුවා-
සිදු වූ දේ පිළිබඳව නොම දුක් වන්න
නොහැකිය අතීතෙට ගොස් එය මග හරවන්න
4.2 GPA එකක් ලැබ ගන්න
අධ්‍යයන කටයුතුවල යෙදී batch top වන්න

2 වන සිසුවා -
හැකි වූවත් batch top වන්නට ඔබට
එය සිහිනයක් පමණයි අසරණ අපට
යන්තම් ගොඩ දා ගන්න try කරන විට
ඔවැනි වදන් පවසන්නේ ඇයි මෙමට

1 වන සිසුවා -
යත්න දැරුවහොත් ඔබ batch top වන්න
හැකි වනු ඇත ඔබට යන්තම් ගොඩ යන්න
මා දුන් අවවාද සිත රඳවා ගන්න
තව loss නොවන්නට අදිටන් කර ගන්න

Monday, January 30, 2012

අතරමං වී

යොමු කලෙමි මා නෙත් ක්ෂිතිජය දෙසට
දුටුවෙමි දිදුලන රන්වන් තාරකාවක්
මවෙතින් ඉතා දුරස්ථ වූ.
එහි දීප්තියෙන් මා වසඟ වූවත්
බිය වීමි වෙන අයෙක් මට පෙර ඒ වෙත ලඟා වනු ඇතැයි.
ඉවත බලනා කල මා දුටුවෙමි
එතරම් දුරස්ථ නොවූ රිදීවන් තාරකාවක්
රන් තරුව මෙන් දීප්තිමත් නොවූවත්
අඳුරු වලා මැද දීප්තිමත් ලෙස විරාජමාන වූ.
මාගේ තීරණය කුමක් විය යුතුද?
මා හදවතට එකඟව දුරස්ථ වූ රන්වන් තාරකාව සොයා යා යුතුද?
නැතහොත් උඩු සිතට එකඟව රිදීවන් තාරකාවෙන් සැහීමකට පත් විය යුතුද?

Monday, January 23, 2012

Mid term exam එ‍ක

" දැන් Mid එකත් ලඟයි නේද?" ප්‍රශ්න කරත් අයෙක්.
"ඒ ගැන කියලා අපිව බය කරන්න එපා බං." තවකෙක් පවසයි.
"අපි Mid එක ගණන් ගන්නේ නෑ.Final exam එක යන්තම් ගොඩ දා ගන්න පුළුවන් වුණොත් ඇති."
"මම අන්තිමට කරපු ප්‍රශ්න 10 න් එකක් වැරදියි. මම repeat වෙයිද?"
"තමුසේ මගෙන් මොනවත් අහගන්න එපා. එකක් වැරදිලා repeat වෙනවා නම් 9ක් වැරදි එවුන්ට මොනවා වෙයිද?"
"දැන් වැඩක් නැති දේ ගැන කතා කරන්නේ නැතුව aca දාන්න.Mid එක කෙළ වුණොත් batch top වෙන්න බැරි වෙයි." පොත දිහා බලා සිටින අයෙක් උපදෙස් දෙයි.
"අපි ඇක බාර දෙවියන්ට පූජවක්වත් තියමු පාස් වෙන්න කියලා."


"මම නම් aca දැම්මත් වැඩක් නෑ. ඊට වඩා හොඳයි මලක් කඩන එක." එකෙක් මෙසේ පවසා දුරකථනය අතට ගනී.
සෙස්සෝ නැවත පොත් දෙසට නෙත් යොමු කරති.
"ඇත්තටම mid එක මෙච්චර වැදගත්ද?"

Saturday, January 14, 2012

විභාග මානසිකත්වය

පොත් පත් නමැති ඉල්ලමෙන් ගරා ගත්
තොරතුරු නමැති මූලද්‍රව්‍යය යොදා නිර්මාණය කළ
දැනුම නමැති ඛඩ්ග පත්‍ර තලය,
නිරවද්‍යතාවය සහ විචක්ෂණ භාවය නම්
බාහු යුග්මයෙන් මෙහෙයවා,
අධ්‍යාපනික අභියෝග නමැති
නොවැලැක්විය හැකි ප්‍රතිවාදියාගේ,
සාමාන්‍ය පෙළ විෂයයන් නමැති ඇඟිලි 10ත්
උසස් පෙළ විෂයයන් නමැති ගාත්‍රා 4ත්
ඡේදනය කර ඉදිරියට යන අපගේ බලාපොරොත්තුව
උපාධිය ලබා ගැනීමෙන් අධ්‍යාපනික අභියෝගයන්හි ශීර්ෂය ඡේදනය කිරීමද?
එහෙත් එක් ශීර්ෂයක් ඡේදනය කළ විට තවත් ශීර්ෂයක් මතු නොවනු ඇතැයිද,
එම ශීර්ෂය ඡේදනය කිරීමට ප්‍රථමයෙන්

එහි අක්ෂි යුග්මයෙන් විමෝචනය වන්නා වූ
ආතතිය නම් වහ්නි ජාලාවන්ට හසු වී
අපගේ සන්තානයන් අංගාර බවට පත් නොවනු ඇතැයිද
අප කෙසේ අපේක්ෂා කරමුද?

මියැසි නදී තෙර



මියැසි නදී තෙර සිහිලැල් පවනේ
දිවි ගමනේ නෙක විඩා දුරු වුණා
ජීවිතයේ නෙක දුක් සෝ සුසුමන්
සත්සරයේ සුව අතර සැඟවුණා

නෙතගින් ගිලිහුණු උණුසුම් කඳුලක්
පන්හිඳ තුඩගට පණ දෙනු දැනුනා
හදවත දැල්වුණු දුක්බර හැඟුමන්
පත් ඉරු අතරේ හිනැහෙනු පෙනුණා

නෙතේ රැඳුණු ඒ මනරම් දසුනින්
සුහුඹුල් හැඟුමන් පිබිදෙනු දැනුනා
හදේ මැවුණු ඒ සුන්දර සිහිනය
තෙලි තුඩගින් ලෝ නෙතට යා වුණා

(මෙය නිර්මල ලියනාරච්චි සොහොයුරා සමග සිදු කල සම-නිර්මාණයකි)

Saturday, January 7, 2012

ඇක loss වූ මා



AL කාලේ මෙන් දැන් ඇක නොවැටෙන්නේ
වෙන අරමුණු වෙතට මා සිත දිව යන්නේ
Lectures අතර තුර මා නෙතු පියවෙන්නේ
ඇක loss වේද කියලා සිත බිය වන්නේ

දුටුවත් සිහින සමහරු batch top වන්න
ඒ සිහිනය වේ මසිතෙන් ගිලිහෙන්න
තව සිව් වසක් මේ අයුරින් ගත වෙන්න
ඉඩ දෙනු හැර විසඳුමක් මා නොම දන්න

කෙතරම් කලත් විභාග මා සිත වෙහෙසා
නොලැබුණි කිසි සැනසුමක් හට මා සිරසා
නොහැකිය සිටින්නට තව දුරටත් ඉවසා
කවියක් පද බඳින්නෙමි මා සිත සනසා

Sunday, January 1, 2012

ශෝක ප්‍රකාශය


නොදිලිසුනත් නෙතු අග උණු කඳුළු කැට
හදවත හඬයි ඔබේ කඳුලැලි දකින විට
සිහි වන සඳ ඔබේ කඳුලැලි පිරුණු වත
යලි පණ ලබයි මගේ වියැලුණු කඳුළු කැට

දුටුවත් මිනිස් දූවරු මහ පොලොව මත
ඒ සැම දෙන අතර ඔබ දෙව් දුවකි මට
බිඳුනත් ඔබේ මුදු සිත පිය වියෝවට
ඔබ දියමන්තියකි අතරේ බොරළු කැට

මරණය දුකකි නොහැකිය ඉන් ගැලවෙන්ට
සිදු වේ දිනක ප්‍රියයන් හට සමු දෙන්ට
ඔබ වැනි දියණියක සැදු පින් මහිමයට
හැකි වනු ඇත ඔහුට මොක් සුව ලබන්නට