Wednesday, January 7, 2015

නොනිවෙන ගිනි දැල් (කෙටි කථාව)



ආයාසයක් දරා මම දෙඇස් විවර කළෙමි. අඩවන්ව තිබූ ජනෙල් පියන් පත් අතරින් ගලා ආ හිරු කිරණ කදම්භය එතරම් ප්‍රබල නොවූවද, එයද මගේ දෙනෙත පීඩාවට පත් කළේ තවමත් පහ නොවූ මගේ හිසරදය තීව්‍ර කරමිනි. නැගී සිටීමට උත්සාහ කරද්දී  මුළු කාමරයම භ්‍රමණය වන්නාක් මෙන් දැනුනද එම හැගීම අභිබවා නැගී සිටීමට මම සමත් වූයෙමි.

නැගී සිටි වහාම මගේ නෙත් යොමු වූයේ ඔරලෝසුව දෙසටය. ඒ වන විටත් වේලාව උදෑසන දහය පසු වී තිබුණි. මේසය මත තිබූ දුරකථනය අතට ගත් මම දුටුවේ අම්මා වෙතින් දුරකථන ඇමතුම් 20 කට වඩා ලැබී ඇති බවයි. පෙර දින සවස නිවසට පැමිණෙන බව පවසා සිටි මා තවමත් පැමිණියේ නැති විට ඇය කලබල නොවී සිටීම පුදුමයක්ද?

වෙවුලන අතැඟිලිවලින් දුරකතනයේ යතුරු එබූ මම අම්මාට දුරකථන ඇමතුමක් ගත්තෙමි. මෙතෙක් කල් මගේ ජීවිතයේ කිසි දිනෙක මම අම්මාට බොරු කියා නැත. එහෙත් මෙවර මම කෙසේ සත්‍ය පවසන්නද? මගේ ප්‍රමාදයට සැබෑ හේතුව පවසා අම්මාගේ සිත රිදවනවාට වඩා මුසාවක් පැවසීම යහපත් යයි මම තීරණය කළෙමි.

"පුතේ, මොකද ඊයේ හවස ආවේ නැත්තේ? මම කොච්චර  බය වෙලා ද හිටියේ." අම්මා විමසුවේ තැති ගත් හඩිනි.
"අම්මේ, අපේ කැම්පස් එකේ ළමයෙක්ගේ තාත්තා නැති වෙලා. ඊයේ හවස ෆියුනරල් එකට ගියා. හදිස්සියේ යෙදුන ගමනක් නිසා කලින් කියන්න විදියක් තිබුණේ නෑ."
"ඉතින් අඩුම ගානේ එහෙට ගිහිල්ලා හරි කෝල් එකක් දෙන්න තිබුණනේ. මම බය වුනා පුතාට කරදරයක්වත්ද කියලා."
"එහෙම ප්‍රශ්නයක් නෑ අම්මේ. අම්මා බය වෙන්න එපා. මම දැනුයි බෝඩිමට ආවේ. තව ටිකකින් ගෙදර එනවා."
"එහෙනම් පරිස්සමින් එන්න." පවසමින් අම්මා දුරකථන ඇමතුම විසන්ධි කළාය.

 මා පැවසූ දේ අම්මා විශ්වාස කලද අම්මාට බොරු කීම හේතුවෙන් හට ගත් වරදකාරී හැගීමෙන් මිදීමට මට නොහැකි විය. දෙගිඩියාවෙන් පෙළෙන මගේ සන්තානය හරහා පෙර දින සිදු වූ සිදුවීම් පිලිබඳ මතකයන් ගලා යන්නට වූයේ සිනමා පටයක් මෙනි.

 *******************************************************************************

පෙර දින උදෑසනම මම පුස්තකාලය අසල රැඳී සිටියේ ඇය පැමිණෙන තුරුය. වෙනදා උදෑසන 8 වන විට පැමිණ සිටින ඈ අද 8.30 වන තුරු ද නොපැමිණීම මගේ සිත තුළ ඇති කළේ නොසන්සුන් හැගීමකි. මා ඇයට දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළද එය නිරර්ථක විය.

අවසානයේ සරසවි ගේට්ටුව තුළින් ඇතුළු වන ඇයගේ රුව දැක ගැනීමට මට හැකි විය. නිරතුරු සිනහවෙන් සැරසුණු ඇයගේ මුහුණත්, සාගර තරංග සිහිපත් කරවන රැළි සහිත වරලසත්, දුටුවන් මන බඳින පැද්දෙන උකුලත් දුටු විට මගේ සියොළඟම විදුලි සැරයකින් හිරි වැටී යන්නාක් මෙන් දැනුණි. මුහුණ සිනහවෙන් සරසා ගෙනම ඇය මා වෙත පැමිණියාය.

"ඔයා ඇවිල්ලා හුඟක් වෙලාද? අද මට වෙනදා එන බස් එක මිස් වුණා. ඒ නිසයි පරක්කු වුණේ."
"මම නම් 8 වෙද්දී ආවා. ඔයා වෙනදාට ඒ වෙලාවට එනවනේ."
"තවත් පරක්කු වෙන්නේ නැතිව ලෙක්චර් එකට යමු නේද? නැත්නම් අපිව ඇතුළට ගන්න එකක් නෑ." දේශන ශාලාව වෙත පිය නගමින් ඇය කීවාය.

"විනාඩියක් ඉන්න." පියවරක් ඉදිරියට තබමින් මම කීවෙමි. ඇය සිනාමුසු මුහුණින් ආපසු හැරුණේ "ඇයි" කියා අසමිනි.

ඒ මොහොතේ කාලය නතර වූවාක් මෙන් මට දැනුණි. මගේ සිතේ ඇය කෙරෙහි හට ගෙන තිබූ ප්‍රේමය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව දින ගණනාවක් තිස්සේ සැලසුම් කර තිබුනත් ඒ සැලසුම් සියල්ල මේ මොහොතේ හිරු දුටු පිණි මෙන් අතුරුදහන්ව තිබුණි. ඇය මගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇත්ද, ප්‍රේමය අයදින්නට ගොස් මිතුදමත් අහිමි වේද යන ප්‍රශ්න මගේ සන්තානය පීඩාවට පත් කළේය. එහෙත් තව දුරටත් හැගීම් සිත තුළ සිර කර ගෙන සිටීම කළ නොහැක්කකි.

"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා." සිතට දිරි ගනිමින් මම පැවසුවෙමි. "මම කැමතියි ඔයාව මගේ සහකාරිය කර ගන්න."

ඇය මොහොතක් මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ මා පැවසූ දෙය එක වරම විශ්වාස කිරීමට අපහසු වූ නිසා විය හැක. අනතුරුව ඇය මිනිත්තු කිහිපයක් දැඩි කල්පනාවක නිමග්නව ක්ෂිතිජය දිහා බලා සිටියාය. අවසානයේ ඇය බැරෑරුම් මුහුණින් නැවත මා වෙතට හැරුණි.

"මම මෙහෙම කිව්වා කියලා තරහ වෙන්න එපා." ඇය මිමිණුවාය. "ඔයා මට හමු වුණ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්. ඒත් ඔයා ගැන මට ඒ විදියේ හැගීමක් නෑ. මම හැම දාම ඔයාගේ යාළුවෙක් විදියට ඉන්නම්. ඒත් ඊට එහා ගිය දෙයක් දෙන්න මට බැහැ"

ඇයගේ සෑම වචනයක්ම මගේ හදවතට අනින ගිනියම් වූ යවුලක් බඳු විය. දෙනෙතින් නැගුණු කඳුළු බිඳු සඟවා ගැනීමට මා පසෙකට හැරෙද්දී ඇය මගේ උරහිස මතින් අත තබනු මට දැනුණි. "ඔයා දුක් වෙන්න එපා. මේ ලෝකේ ඉන්න එකම ගැහැණු ළමයා මම නෙවෙයිනේ. ඔයාටත් කවදා හරි හොඳ කෙනෙක් හම්බ වෙයි." ඇය කීවේ සානුකම්පිත හඬිනි. එහෙත් මා ඇගෙන් බලාපොරොත්තු වූයේ ආදරය මිස අනුකම්පාව නොවේ. "එන්න, අපි ලෙක්චර් එකට යමු."

කළ යුත්තක් සිතා ගත නොහැකි වූ මම සිහිනයෙන් මෙන් දේශන ශාලාව වෙතට ඇදුනෙමි. එහෙත් දේශනයට අවධානය යොමු කිරීමට තරම් මානසිකත්වයක මම නොසිටියෙමි. ඒ දෙපැය තුළ ගුරුවරයා පැවසූ වචන සියල්ල මට ධ්වනි තරංග පමණක්ම විය.

එදින දහවල් විවේක කාලයේදී මම දිවා භෝජනය සඳහා අපනශාලාවට ගියද, ආහාර ගැනීමටද මට එතරම් උනන්දුවක් වූයේ නැත. මගේ වෙනස දුටු එක් මිත්‍රයෙක් මා සිටි ස්ථානයට පැමිණියේය.

"මොකද බන් උඹට අද වෙලා තියෙන්නේ? අද ලෙක්චර් එක වෙලාවෙත් උඹ අවුලෙන් වගේ හිටියේ. මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"එහෙම අවුලක් නෑ බන්." යයි මා පැවසුවද මගේ සිතේ තෙරපෙමින් තිබූ ශෝකය සැඟවීමට මගේ කට හඬ අසමත් විය.
"අවුලක් නැති වෙන්න බෑ. අවුලක් නැත්නම් උඹ ඔහොම අප්සෙට් ගහන්නේ නෑනේ. මොකක්ද වුණේ?"
"එක ගණන් ගන්න තරම් දෙයක් නෙවෙයි. දවසක් දෙකක් යද්දි හරි යයි."
"සේරටම කලින් වුණේ මොකක්ද කියලා කියපන්කෝ. උඹට අර කෙල්ල බෑ කිව්වද?" ඔහු ඇසුවේ සරදම් ස්වරයෙනි.
"උඹ කොහොමද දන්නේ?" මම ඇසුවේ මටත් නොදැනීමය.
"උඹ ඒකිට ලයින් කියලා මුළු කැම්පස් එකම දන්නවනේ බන්. ඉතින් උඹ ඔහොම මූණ එල්ල ගෙන ඉන්න කොට මම හිතුවා ඒ වගේ දෙයක් වෙලා කියලා. මම හරි නේද?"
"ඔව්. උඹ හරි තමයි. හැබැයි උඹ ඕක එක එකාට කිය කිය යන්නේ එහෙම නෑ."
"උඹ හිතුවද ඕක හැම එකාටම කියන්න මට පිස්සු කියලා? හැබැයි උඹ ඔහොම අප්සෙට් මූඩ් එකෙන් හිටියොත් ඕනේ එකෙක්ට තේරෙනවා වෙලා තියෙන්නේ මොකක්ද කියලා."
"උඹ නම් කියයි. මමනේ දන්නේ මගේ හිතේ තියෙන අමාරුව.මොනවා වුණත් කෙල්ලෙක් කැමති නෑ කිව්වම හිතට අවුල්නේ බන්."
"ඕක ඔච්චර ගණන් ගන්න එපා බන්. ලෝකේ ඉන්නේ එක කෙල්ල නෙවෙයිනේ."
"ඒ වුණත් මම ඒකි ගැන සෑහෙන බලාපොරොත්තු තියා ගෙන හිටියා."

ඔහු සිනා සෙමින් මගේ පිටට තට්ටු කළේය. "ගණන් ගන්න එපා බන්. ඕවද මිනිස්සුන්ට වෙන්නේ. ඒක නෙවෙයි. අද හවස අපේ බෝඩිමේ කට්ටිය සෙට් වෙනවා. උඹත් කැමති නම් ඇවිල්ලා පොඩි ෂොට් එකක් දාපන්."
"අනේ බෑ බන්. උඹ දන්නවනේ මම බොන්නේ නෑ කියලා."
"මම දන්නවා. ඒත් මේ වගේ වෙලාවක ටිකක් බිවුවම උඹේ හිතේ තියෙන දුක අඩු වෙලා යයි. මම උඹට බල කරලා කියන්නේ නෑ. කැමති නම් විතරක් එන්න." යයි පවසා ඔහු පිටව ගියේය.

තව දුරටත් දේශනවලට සවන් දීමට හැකි මානසිකත්වයක මා නොසිටි බැවින් හවස දේශනයට සහභාගී නොවී බෝඩිමට ගොස් නිදා ගැනීමට මම තීරණය කළෙමි. බෝඩිම කරා පිය මනින අතර මා දුටුවේ පසු ගිය දින කිහිපයේම පැහැදිලිව තිබූ අහස එදින කළු වලාකුළුවලින් වැසී තිබූ බවයි. මට හැඟුණේ මගේ සිතේ රජයන අපේක්ෂා භංගත්වය වෙනුවෙන් ස්වභාවධර්මය පවා කඳුළු සැලීමට සූදානමින් සිටින සෙයකි.

දෑස් වසා ගත් පමණින් නිදි දෙව්දුව මා කරා එළඹියේ නැත. සෑම විටම මගේ මනසේ රැව් දුන්නේ ඇය අවසානයේ මට පැවසූ වචනයි. සියළු බලාපොරොත්තු සිඳී ගිය මේ මොහොතේ නින්ද පවා මා අතහැර ගොස් ඇති සෙයකි.

කෙසේ හෝ අවසානයේ මට නින්ද යන්නට ඇත. ඊළඟ මොහොතේ මා දුටුවේ අනන්තය කරා විහිදෙන කොරිඩෝවක මා අතරමං ව ඇති බවයි. කළ යුත්තක් සිතා ගත නොහැකිව මම ඉදිරියටම පිය මැන්නෙමි. මගේ ගමන අවසානයේ මට දිස් වුණේ දැවැන්ත කාලවර්ණ සිහසුනකි. එහි අසුන්ගෙන සිටි පුරුෂයා වෙතින් නිකුත් වූ තේජස කෙතරම් වීද යත් ඔහුගේ මුහුණ බැලීමට පවා එඩිතර නොවී මම දණින් වැටුනෙමි.

 "තමන් ඉදිරියේ දණින් වැටෙන්න අවශ්‍යතාවයක් නෑ." සිහසුන මත සිටි තැනැත්තා පැවසුවේ මේඝ ඝර්ජනාවක් බඳු ගැඹුරු කට හඬකිනි. එය ඇසූ මගේ නෙත් ඔහුගේ මුහුණ වෙතට යොමු වූයේ නිරායාසයෙන්මය. මගේ  විමතියට හේතු වන පරිදි මට දකින්නට ලැබුණේ මගේම මුහුණය.

"ඔබ කවුද?" මම විමසුවේ කිසිවක් සිතා ගැනීමට නොහැකිවය. මා ඉදිරියේ අසුන් ගෙන සිටින තැනැත්තාට මගේ මුහුණම තිබූ බව සැබවි. එහෙත් ඔහු මා නොවන බව මම පැහැදිලිව මම දැන සිටියෙමි.

"මම කවුරුන්ද කියන එක මේ අවස්ථාවේ වැදගත් නැහැ. වැදගත් වෙන්නේ ඔබේ සිත පීඩාවට පත් කරන ගැටළුවට විසඳුමක් සොයා ගැනීමයි." මගේ සමරූපියා කිවේය.

"මම හිතන්නේ නෑ ඒකට විසඳුමක් තියෙනවා කියලා." මම කීවෙමි.

"විසඳුමක් තියෙනවා. එහෙත් ඔබ එය දකින්නේ නැහැ." ඔහු කීවේය. මම කුතුහලයෙන් ඔහුගේ මුහුණ බැලුවෙමි. "ඔබේ ගැටලුව අමතක කිරීම සඳහා වෙන දෙයකට අවධානය යොමු කරන්න. අද සවස ඔබේ මිතුරන් සමග මධු විත පානය කර සතුටු වෙන්න. එවිට ඔබට හැකි වෙයි ඔබේ සිතේ වේදනාව දුරු කර ගන්න."

"මට ඒක කරන්න බැහැ." හිස දෙපසට වනමින් මම කීවෙමි. "ප්‍රතිපත්තියක් විදියට මම කවදාවත් මත් පැන් පානය කරන්නේ නැහැ."

"ඔබට මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ ඔබේ ප්‍රතිපත්තියද? නැතිනම් ඔබේ සිත් වේදනාව දුරු කර ගැනීමද?" මගේ සමරූපියාගේ කටහඬ ආක්‍රමණශීලී විය. "එක් වරක් ප්‍රතිපත්තිය බිඳුනාට හානියක් වෙන්නේ නැහැ. එහෙත් ඔබේ සිත් වේදනාව දුරු කර නොගත්තොත් ඔබට සදාකාලයටම දුක් විඳින්න වෙයි."

"ඔහු කියන දේ විශ්වාස කරන්න එපා." මට පිටුපසින් ඇසුණු තවත් කටහඬක් කීවේය. ආපසු හැරී බැලූ මට දක්නට ලැබුණේ මට සමාන රූපයක් ඇති තවත් මිනිසෙකි. "ඔබේ ප්‍රතිපත්ති බිඳ දැමීමට අවශ්‍ය නැහැ. ඔබට ශක්තිමත් සිතක් තිබෙනවා. මත් පැන්වලින් ඔබේ වේදනාව දුරු කළ නොහැකියි. ඔබේ වේදනාව දුරු කළ හැක්කේ ඔබේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීමෙන් පමණයි."

"මේ මොහොතේ ඔබේ ආත්ම විශ්වාසය සුණු විසුණු වී ගිහින්. ඔබට තනිවම එය නැවත ගොඩ නගා ගැනීමට නොහැකියි." පළමු සමරූපියා ප්‍රති උත්තර දුන්නේය.

"මොහොතක් සිතා බලන්න. ඔබ මත් පැන් පානය කරන බව ඔබේ දෙමාපියන් දැන ගත්තොත් ඔවුන්ට කෙතරම් සිත් වේදනාවක් ඇති වෙයිද?" දෙවන සමරූපියා ප්‍රශ්න කළේය.

"ඔබේ දෙමව්පියන්ට ඔබ මත් පැන් පානය කරන බව දැන ගැනීමට කිසිදු අවකාශයක් නැහැ."

"ඔබේ දෙමව්පියන් මුලා කිරීමට ඔබට හැකි වුවත් ඔබේ හදවතේ ඇති වන වරදකාරී හැගීමෙන් මිදීමට ඔබට හැකිද?"

"වඩා වේදනාකාරී වන්නේ සුළු මොහොතකට ඇති වන පශ්චාත්තාපයද? නැතහොත් මේ මොහොතේත් ඔබේ සිත පීඩාවට පත් කරන අපේක්ෂා භංගත්වයද?"

එම සංවාදය එතෙකින් නිමා නොවීය. ඔවුන් දෙදෙනාම නොයෙක් තර්ක ගෙන හැර පාමින් මගේ සිත වෙනස් කිරීමට උත්සාහ කළහ. එයින් මා කෙතරම් කැළඹීමකට පත් වීද යත් අවසන මා "නවත්වන්න" යයි කෑ ගැසුවේ මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය හෙයිනි. ඒ මොහොතේම මා සිහිනයෙන් අවදි වීමි.

අවදි වූවද සුළු මොහොතකට පෙර දුටු ස්වප්නය ගලේ කෙටූ ඉරක් මෙන් මගේ සිතේ රැදී තිබුණි. මගේ මතකයේ වැඩිපුරම රැව් දෙමින් පැවතියේ මගේ පළමු සමරූපියා අවසන් වරට පැවසූ වචනයි. "වඩා වේදනාකාරී වන්නේ සුළු මොහොතකට ඇති වන පශ්චාත්තාපයද? නැතහොත් මේ මොහොතේත් ඔබේ සිත පීඩාවට පත් කරන අපේක්ෂා භංගත්වයද?"එම වාක්‍යය මට මග පෙන්වන පහන් ටැඹක් බඳු විය. තවත් මොහොතක් හෝ ප්‍රමාද නොවී මම තීරණයකට එළඹුනෙමි.  

එදින සවස මම මගේ මිත්‍රයාගේ බෝඩිමට පිවිසුණේමේඝ ඝර්ජනා සහිත ධාරාන්පාත වර්ෂාව මධ්‍යයේය. ඔහු මා බලාපොරොත්තුවෙන් නොසිටි බව ඔහුගේ මුහුණේ ඇඳුනු විමතියට පත් ලකුණුවලින් පෙනුණි. විශ්ව විද්‍යාලයේ අහිංසකම ශිෂ්‍යයා ලෙස නම් දරා සිටි මා මෙවන් සුළු හේතුවක් නිසා සුරා පානයට යොමු වනු ඇතැයි කවරකුට විශ්වාස කළ හැකිද?

"එහෙනම් උඹ ඇත්තටම ආවා." මගේ කර වටා අතක් දමා ගනිමින් ඔහු කීවේය. "අද බොනවයි කියලා උඹ ගත්ත තීරණය හරි කියලා මම කියන්නේ නෑ. ඒත් හිත හදා ගන්න අමාරු වෙලාවට පොඩි ෂොට් එකක් දාන එක වැරැද්දක් කියලා මම හිතන්නේ නෑ. අනිත් එක කැම්පස් කොල්ලෙක් වුණාම හැම දේම අත්හදා බලන්න ඕනේ."

ඒ වන විටත් වෙනත් කාමරයක ඉතිරි මිතුරන් පිරිස මත් පැනින් සන්තර්පණය වෙමින් සිටියහ. මා දුටු වහාම ඔවුන් එක වර නිශ්ශබ්ද වූයේ එබඳු අවස්ථාවක මා දැකීම ඔවුන්ගේ විමතියට හේතු වූ නිසාය. "අම්මට සිරි! බලපන්කෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා!"  ඒ වන විටත් අඩක් හිස් වූ වීදුරුවක් අතේ තබා ගෙන සිටි අයෙක් කෑ ගැසුවේය.
"එහෙනම් උඹත් අන්තිමේ අපිත් එක්ක බොන්න සෙට් වුණා නේද?" තවත් එකෙක් කෑගැසුවේය. "මට නම් හිතා ගන්නවත් බෑ."

කිසිවක් නොකී මම අපහසුවෙන් සිනහවක් මවා පාමින් ඔවුන් අතරින් අසුන් ගතිමි. අසල සිටි අයෙක් වෙතින් හිස් වීදුරුවක් හා විස්කි බෝතලයක් ඉල්ලා ගත් මම පුරුදුකාරයෙක් මෙන් වීදුරුව පිරෙන තුරු විස්කි වත් කර ගත්තෙමි. "පිස්සුද යකෝ? බොන පළවෙනි දවසේ ඔහොම බිව්වොත් උඹ මැරෙයි." යයි පවසමින් මගේ වීදුරුව උදුරා ගත් අසල සිටි අයෙක් එහි තිබූ විස්කිවලින් අඩක් හිස් කර ඒ වෙනුවට සිසිල් බීම පුරවා නැවත මා අත තැබීය.

"එහෙනම් අපි සව්දිය පුරමු අද අලුතින් අපේ සමාජයට එක් වූ මිත්‍රයා වෙනුවෙන්." මට මෙහි පැමිණීමට ආරාධනා කළ මිත්‍රයා පැවසුවේ සිය විස්කි වීදුරුව ඉහළට ඔසවමිනි. "චියර්ස්!"

සව්දිය පිරීමෙන් අනතුරුව වීදුරුව එසවූ මම එය එක හුස්මට ගිල දැම්මෙමි. විස්කි දහරාව මගේ උගුර හරහා ගලා යද්දී මගේ උගුර පිළිස්සී යන්නාක් මෙන් දැනුනද, මගේ සන්තානය දවා අළු කරමින් සිටි විරහ වේදනාව හමුවේ එම හැගීම එකතරා ආකාරයක සහනයක් විය.

ඉන් අනතරුව ගෙවී ගිය කාලය ඉක්මනින් ගෙවී ගියාක් මෙන් මට දැනුණි. මා දෙවන හා තුන්වන විස්කි වීදුරුද හිස් කළේ මටත් නොදැනීමය. තුන් වන වීදුරුව හිස් කරන විට මට හිස කැරකැවෙන්නාක් මෙන් දැනුනද එයින් නොනැවතුණු මම තවත් වරක් වීදුරුව පුරවා දෙන ලෙස මිතුරකුගෙන් ඉල්ලා සිටියෙමි.

වීදුරුව පුරවන්නට පෙර ඔහු ස්වල්ප වේලාවක් මදෙස බලා සිටියේ මා දැනටමත් මත් වී සිටින බව මගේ ඉරියව්වලින් ඔහුට පෙනී යන්නට ඇති නිසාය. "මචං උඹට ෂුවර්ද තව බොන්න පුළුවන් කියලා. මම නම් හිතන්නේ උඹට අදට ඇති. කොහොමත් මුල්ම දවසේ ගොඩක් බොන එකත් හොඳ නැහැ."

"පිස්සුද බන්? මට තාම වදින්න පටන් ගත්තා විතරයි. තව ෂොට් දෙකක්වත් දාන්න පුළුවන්." ව්‍යාජ ආත්ම විශ්වාසයක් මවා පාමින් මම කීවෙමි. එහෙත් සත්‍ය වශයෙන්ම ඒ වන විටත් මගේ රුධිරයේ එතනෝල් සාන්ද්‍රණය මට දරා ගත හැකි සීමාවට ලඟා වෙමින් තිබෙන බව මටද අවබෝධ වී තිබුණි. එහෙත් මට අවශ්‍ය වූයේ හැකි තරම් මත් පැන් පානය කර මගේ සන්තානයේ හොල්මන් කළ සියලු වේදනාවන් දිය කර හැරීමටය.

එහෙත් මේ අවස්ථාවේ මා කැඳවා ගෙන ආ මිත්‍රයාද මට විරුද්ධ විය. "මචං, මම උඹේ හොඳට කියන්නේ. උඹ අද බිව්ව ප්‍රමාණය හොඳටම ඇති. උඹට තවත් බොන්න ඕනේ නම් වෙන දවසක සෙට් වෙමු. ඒත් අදට ඇති."

එහෙත් පරාජය භාර ගැනීමට මා තුළ සූදානමක් නොවීය. "මචං මම දන්නවා මගේ ලිමිට් එක කොච්චරක්ද කියලා. මම තව ඉල්ලන්නේ තව බොන්න පුළුවන් නිසා." විස්කි බෝතලය මිතුරා අතින් උදුරා ගෙන මගේ වීදුරුව පුරවා ගනිමින් මම කීවෙමි.

එවිටම තවත් එකෙක් මගේ සහයට ඉදිරිපත් විය. "ඌට ඕනේ නම් තව බොන්න දීපන් බන්. ඌට තව බොන්න පුළුවන් නිසානේ ඉල්ලන්නේ." මා දෙස ප්‍රශංසාත්මක බැල්මක් හෙළමින් ඔහු මෙසේද කීවේය. "උඹ නම් සිරාම ඩයල් එකක්. අපිටවත් අපි බිව්ව මුල්ම දවසේ ඔච්චර බොන්න පුළුවන්කමක් තිබ්බේ නෑ."

ඔහුගේ ප්‍රකාශයෙන් ඔද වැඩුණු මම සිව් වෙනි වීදුරුවද එක උගුරට හිස් කළෙමි. ඉන් අනතුරුව සිදු වූ දේ පිළිබඳව මගේ මතකය අපැහැදිලිය. අනෙක් අයගේ විරෝධය මධ්‍යයේ මම තවත් කිහිප වරක් වීදුරුව පුරවා ගත්තද එදින රාත්‍රියේ මම මත් පැන් වීදුරු කොපමණක් හිස් කළාද යන්න මට මතක නැත. කෙසේ වෙතත් එය ප්‍රථම වරට මත් පැන් පානය කරන කිසිවෙක් පරිභෝජනය නොකරන තරම් ඉහළ පරිමාවක් බව නම් මට සහතිකය.

ඉන් අනතුරුව සිදු වූ දෑ පිළිබඳව මට ඇත්තේ ද්වීමය කේතයක් බඳු අසන්තතික මතකයකි. මා බෝඩිමට ආවේ කෙසේද යන්න පිළිබඳව පවා මට මතක නැත. යහළුවන් විසින් වත්තම් කරන ලදුව ඔවුන්ගේ බෝඩිමෙන් පිටතට පැමිණි ආකාරයත්, ඔවුන්ගේ බෝඩිමේ මිදුලේ වමනය කළ ආකාරයත් සිහිනයෙන් මෙන් මගේ මතකයේ රැඳී තිබේ. කෙසේ හෝ බෝඩිමට පැමිණි මා එහි වූ සයනයේ වැතිර නිදා ගන්නට ඇත. එතැන් සිට මේ මොහොත වන තෙක් මා සිටින්නට ඇත්තේ නිදි දෙව්දුවගේ තුරුළේ උණුසුම විඳිමිනි.

******************************************************************************
මෙම සිදුවීම් මාලාව මගේ දෙනෙත් ඉදිරිපිට මැවී පෙනුණේ චිත්‍රපටයක් මෙනි. පෙර දින රාත්‍රියේ මා ක්‍රියා කළ ආකාරය සිහි වන විට සිතෙහි ලජ්ජාවක් හට ගැනීම නොවැළක්විය හැකි විය. කෙසේ වෙතත් කිසියම් හේතුවක් නිසා මා සිතෙහි තිබූ විරහ වේදනාව යම් තාක් දුරකට සමනය වී තිබුණි. එයට හේතු වූයේ භෂ්මයක් මගින් අම්ලයක් උදාසීන කරන්නාක් මෙන් සුරාවෙන් ලත් ආශ්වාදය මගින් සිතෙහි වූ වේදනාව උදාසීන කිරීමද, නැතහොත් විරහ වේදනාව අභිභවා දෙමව්පියන්ගේ විශ්වාසය පළුදු කරමින් සිදු කළ සාවද්‍ය ක්‍රියාව නිසා හට ගත් පශ්චාත්තාපය ඉදිරියට ඒමද යන්න මට වටහා ගත නොහැක. කෙසේ වෙතත් ඇය ගැන සිතන්නේ නැතිව මින් ඉදිරියට අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමට හැකි වනු ඇතැයි සිතා මම සිත සනසා ගතිමි.

කෙසේ වෙතත් තව දුරටත් මේ පිළිබඳව කල්පනා කරමින් කාලය නාස්ති කළ නොහැකිය. තවමත් සම්පූර්ණයෙන් පහ නොවූ හිස රදය අසීරුවෙන් මැඩ ගෙන නිවසට ඒමට සූදානම් වූ මම බෝඩිමෙන් පිටව නිවසට ඒම සඳහා පිටත් වූයෙමි. එහෙත් එම ගමනද සාමකාමී එකක් වූයේ නැත. දියේ ගිල්වූ රබර් බෝලයක් මතුපිටට පොලා පනින්නාක් මෙන් වරින් වර ඉස්මතු වන වරදකාරී හැගීම මසිත සතත පීඩාවට පත් කළේය.

මා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි අම්මා මා පැමිණි වහාම ඉමහත් ස්නේහයෙන් මා වැළඳ ගත්තාය. එම අසීමිත ආදරය ලැබීමට මා සුදුසු නොවේ යයි මගේ යටි සිත මුමුණා කීවද, ඒ මොහොතේ මගේ සියළු දෝමනස්සයන් මව් සෙනෙහස හමු වේ සැඟවී ගියේය. "පුතා ආයෙත් කොහේ හරි දුර ගමනක් යනවා නම් මට කියලා යන්න. ඔයා දන්නේ නෑ අපි කොච්චර බය වෙලාද හිටියේ කියලා. තවත් පරක්කු වුණා නම් තාත්තා පොලිසියේ පැමිණිල්ලක් දාන්න යන්න හිටියේ."

"දැන් බය වෙන්න දෙයක් නෑනේ අම්මේ. මම ගෙදර ආවනේ. ඊයේ ගමන හදිස්සියේ යෙදුන නිසයි මට කෝල් එකක්වත් දෙන්න බැරි වුණේ." මම කීවෙමි. මගේ මුවින් පිට වූ සෑම වචනයක් පාසාම මගේ උගුර හරහා ගිනි අඟුරු කැටයක් ගමන් කරන්නාක් මෙන් දැනුණි.
"පුතාට හරිම මහන්සි පාටයි. ඊයේ රෑ හරියට නිදා ගන්නත් බැරි වෙන්න ඇතිනේ. දැන් ගිහින් මූණ සෝදා ගෙන ටිකක් නිදා ගන්න. මම පුතාට දවල් කෑම වෙලාවට නැගිට්ටවන්නම්." මගේ හිස අත ගාමින් පැවසූ අම්මා ආපසු හැරුණේ දිවා භෝජනය පිළියෙළ කිරීමටය.

කිසිවක් සිතා ගත නොහී මම මොහොතක් එතැනම සිට ගෙන සිටියෙමි. ඒ මොහොතේ මගේ සිත කුණාටු සහිත සයුර මෙන් කැළඹිලි සහගත විය. ඒ මොහොතේම අම්මාගේ දෙපා මුල වැඳ වැටී මා කළ වරද පාපොච්චාරණය කර ඇයගෙන් සමාව අයදින ලෙස මගේ සිතේ එක් අර්ධයක් මට බල කළේය. එහෙත් මගේ සිතේ අනෙක් අර්ධය පැවසුවේ සත්‍ය දැන ගැනීමෙන් අම්මාගේ සිත රිදෙන බැවින් මෙය තව දුරටත් රහසක් ලෙස තබා ගත යුතු බවයි.

අවසානයේ මා තීරණයකට එළඹුනෙමි. තව දුරටත් පශ්චාත්තාපයේ අග්නි ජ්වාලයන්ට මගේ සන්තානය දවා අළු කිරීමට ඉඩ දිය නොහැක. මම අම්මාට සත්‍ය හෙළි කළ විට ඇයගේ සිත රිදෙනු ඇති බව සැබෑය. එහෙත් අසීමිත මාතෘ සෙනෙහසින් යුතු ඇය මට සමාව දෙන බව මම දැන සිටියෙමි.

"අම්මේ, මට දෙයක් කියන්න තියෙනවා." මම අපහසුවෙන් මිමිණුවෙමි. අම්මා ආපසු හැරුණේ සෙනෙහස පිරි දෙනෙතින් යුතුවය. "මම කලින් අම්මට කිව්ව හැම දෙයක්ම බොරු අම්මේ. ඊයේ ෆියුනරල් එකකට ගියා කියලා මම කිව්වේ බොරුවක්. ඊයේ හවස මගේ යාළුවෝ කට්ටියක් මට කතා කළා එයාලා එක්ක බොන්න එන්න කියලා. ඉතින් ඊයේ රෑ මමත් එයාලත් එක්ක බිව්වා අම්මේ. ගෙදර එන්න බැරි වුණ හේතුව ඒකයි." හැඬුම්බර කටහඬින් මම පාපොච්චාරණය කළෙමි.

අම්මාගේ මුහුණේ විස්මයක සේයාවක් ඇඳෙනු මා බලා සිටියේ කඳුළින් තෙත් වූ දෙනෙතිනි. ඇයට මෙය විශ්වාස කිරීම ඉතා අපහසු කාර්යයක් වන්නට ඇත. අනතුරුව මා පුදුමයට පත් කරමින් ඈ සිනා සෙන්නට පටන් ගත්තාය.

"මගේ පුතා දැන් හරි විහිළුකාරයෙක් වෙලානේ. ඔයා හැදුවේ මාව බය කරන්න නේද?" ඇය සිනා සෙමින්ම මගෙන් විමසා සිටියාය. "ඒ වුනාට මම මගේ පුතාගේ හැටි දන්නවා. මගේ පුතා කවදාවත් මත් පැන් සිගරට් බොන කෙනෙක් නෙවෙයි. මට ඒක හොඳටම විශ්වාසයි." මගේ හිස ආදරයෙන් අත ගාමින් ඇය පැවසුවාය. "දැන් ඔයා එක එක විකාර කියවන්නේ නැතුව ගිහින් ටිකක් නිදා ගන්න. ෆියුනරල් එකට ගිහින් මහන්සිත් ඇතිනේ."

සමහර අවස්ථාවල අසීමිත ආදරය ද්වේෂයට වඩා වේදනාකාරී බව මම අසා ඇත්තෙමි. එහෙත් මම පළමු වරට එය අත්දැකීමෙන් දැන ගත්තේ ඒ මොහොතේය. මා කෙරෙහි මෙතරම් විශ්වාසයක් තබා ගෙන සිටි මගේ මෑණියන් රැවටීමෙන් මම සිදු කර ඇත්තේ කෙතරම් දුෂ්ට, නින්දිත ක්‍රියාවක්ද? එහෙත් සිදු කළ වරද පාපොච්චාරණය කර ඇයගෙන් සමාව අයැදීමට මා ගත් ප්‍රයත්නයද නිෂ්ඵල වී ඇත. මක් නිසාද යත් මගේ මෑණියන් මා කෙරෙහි තබා සිටි විශ්වාසය කෙතරම් ප්‍රබල වීද යත් මගේ මුවින්ම මගේ වැරැද්ද පාපොච්චාරණය කළ විටෙක පවා මම නිවැරදි බව ඇය විශ්වාස කළ බැවිනි.

කිසි දිනෙක නොමැකෙන වරදකාරී හගීමකින් මසිත වෙළී යද්දී, එම වේදනාවෙන් අංශු මාත්‍රයක් මගේ
දෙනෙතින් ගලා ආවේ කඳුළු බිඳුවක ස්වරූපයෙනි. එය පිස දා ගැනීමටවත් වෙහෙසක් නොදැරූ මම අම්මාගේ  ස්නේහය පිරි මුහුණ දෙස බොඳ වූ දෙනෙතින් යුතුව බලා සිටියෙමි. කුඩා කළ කොහේ හෝ දැක තිබූ කවි පදයක් ඒ සංවේදී මොහොතේ මට සිහි විය. "නොහැක මා සිත සදා ගන්නට, ඔබේ සෙනේ අපමණ නිසා."



No comments:

Post a Comment